බිම්මල් වගාවට කෘෂි උපදෙස්

ශාක පරිනාමයේ ආරම්භයේ ඇති වූ නොදියුණු ශාක විශේෂයක් වන දිලීර පහත් සහ උසස් දිලීර වශයෙන් කොටස් දෙකකට ‍බෙදේ. සමහර උසස් දිලීර වර්ග තම වර්ගයා බෝ කිරීමට අවශ්‍ය බීජානු මල් වැනි විශේෂ ව්‍යුහයක් මගින් නිපදවයි. මෙම ව්‍යුහ හතු හෝ බිම්මල් වශයෙන් හඳුන්වයි.

බිම්මල්වල හරිතප්‍රද නොමැති නිසා ඒවාට ආහාර නිපදවා ගත නොහැක. ඒනිසා ඒවා පරපෝෂිත වේ. 

කෘෂිකාර්මික බෝගවලට වැල‍ෙඳෙන දිලීර රෝග ඇතිවන්නේ මෙම පරපෝෂිත දිලීර නිසාය. 

සමහර දිලීර අප්‍රාණික ශාක හා සත්ත්ව කොටස් මත ජීවත් වේ. ඒවා වෘතෝප ජීවි දිලීර ලෙස හඳුන්වයි. අප ආහාරයට ගන්නා බිම්මල් වෘතෝප ජීවී දිලිර වේ. 

ශ්‍රී ලාංකිකයන් දැනට අවුරුදු දහස් ගණනක සිට ස්වාභාවික ලෙස වැවෙන බිම්මල් ආහාරයට ගෙන ඇත.

නමුත් දැනට වසර කිහිපයක සිට ආහාරය නිරතුරුව මෙන් බිම්මල් යොදාගැනීමට අප සමාජය උනන්දු වූ නිසා තම නිවෙස්වල බිම්මල් වගාවට ඔවුන් හුරු වී ඇත.


පෝෂණ අගය - අමු බිම්මල් ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍ය 

ජලය   - ග්‍රෑම් 91.0

ශක්තිය         - කි.කැලරි 13

ප්‍රෝටීන්         - ග්‍රෑ. 2.5

මේදය - ග්‍රෑ. 0.3

කැල්සියම්      - මි.ග්‍රෑ. 20

යකඩ - මි.ග්‍රෑ. 1.0

තයමින්          - මයි.ග්‍රෑ. 120

රයිබොෆ්ලේමින් - මයි.ග්‍රෑ. 500

නියසින්         - මි.ග්‍රෑ. 5.8

විටමින් C       - මි.ග්‍රෑ. 3.0

මස්, මාළු, කිරි, බටර් වැනි විවිධ සත්ත්ව නිශ්පාදනවලින් ලැබෙන ප්‍රෝටීන් මෙන්ම බිම්මල්වල අඩංගු ප්‍රෝටීන් ගුණත්‍වයෙන් උසස් යයි සලකනු ලැබේ.

අප ආහාරයට ගනු ලබන බිම්මල් අයත් වන්නේ බැසිඩියෝවයිසිටිස් කාණ්ඩය‍ටය. මෙම කාණ්ඩයට අයත් දිලීර අතුරින් ආහාරයට ගන්නා බිම්මල් අයත් වන්නේ ඇගාරිකාලේස් ගණයටය. මෙම ගණයට අයත් බිම්මල් මාංසල හා මාංසල නොවන වශයෙන් කාණ්ඩ දෙකකට ‍බෙදෙන අතර, ආහාරයට වඩාත් සුදුසු වන්නේ මාංසල කොටසට අයත්වන සමහර බිම්මල් පමණි. 

බහුල වශයෙන් වගා කරනු ලබන වර්ග:-

  • වොල් වොරියෙල්ලා වොල්වේසි‍    පිදුරු බිම්මල්‍
  • ප්ලුරොටස් ඔස්ට්‍රියේසස්    මුතු බිම්මල්‍
  • අගාරිකස් බිස්පොරස්       බොත්තම් බිම්මල්
  • ලෙන්ටිනස් ඉඩෝඩස්         ෂිකාටේ බිම්මල්
  • පුලුරෝටස් සිස්ටිඩියෝසස්           ඇබලෝනි බිමිමල්  

බිම්මල් වගා කිරීමේ වාසි:-

  1. කුඩා ඉඩ ප්‍රමාණයක් තිබීම ප්‍රමාණවත්ය.
  2. ලී කුඩු, පිදුරු වැනි පහසුවෙන් සොයා ගතහැකි ද්‍රව්‍ය භාවිතා වේ.
  3. වැය කල යුත්තේ සුළු මුදලකි.
  4. අව්‍යශ්‍ය වෙනත් උපකරණ පහසුවෙන් සොයා ගත හැකිය.
  5. කෙටි කලකින් ආදායම් ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ වගා කරන බිම්මල් වර්ග :-

            මුතු බෙලි (ඔයිස්ටර්) බිම්මල්

            පිදුරු බිම්මල්

වඩා ජනප්‍රය වී ඇත්තේ මුතුබෙලි බිම්මල් වගාවයි.

මුතුබෙලි බිම්මල් වගාව:-

අප රටේ වගා කරන වර්ග තුනකි.

  1. ගෝල්ඩන් වර්ගය
  2. ඇමරිකන් වර්ගය
  3. භූතාන් වර්ගය

මූලික අවශ්‍යතාවයන්:- 

ආදායම් මාර්ගයක් ලෙස වගා කරන්නේ නම් පහත් සඳහන් මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම කල යුතුය. 

  1. තෙතමනය හා අඩු උෂ්ණත්වයන් රඳා පවතින පරිදි සකස් කල මඩුවක්. 
  2. නිරෝ්ගි හා සරු බිම්මල් රෝපණ ද්‍රව්‍ය (බිම්මල් බීජ)
  3. ලී කුඩු මළු හෝ පිදුරු හුමාලයෙන් තම්බා ගැනීමට බැරලයක්

මඩුවක් සකස් කිරීම:-

මඩුව තුළ තෙතමනය හා අඩු උෂ්ණත්වය පවත්වාගත යුතු අතර මනා වායු සංසරනයක්ද තිබිය යුතුය. මඩුව අවට ජලය රඳා නොපැවතිය යුතුය‍. තරමක සෙවන ස්ථානයක පිහිටා තිබිය යුතුය. මඩුව තුල කුඩා කාමරයක් තිබිය යුතුය. එය සෙසු කොටස්වලට වඩා අඳුරුවිය යුතුය. මෙයට හේතුව එය භාවිතා කරන්නේ දිලීර වර්ධනය වන තෙක් පොලිතින් වල ගබඩාකර තබා ගැනිමට නිසාය.

විශාලත්වයෙන් වැඩි මඩුවේ ඉතිරි කොටස තුළට මද ආලෝකයක් හා මනා වාතාශ්‍රයක් ලැබිය යුතුය. අස්වනු නෙලීම සිදුකරන දිලීර අඩංගු බඳුන් මේ තුල තැන්පත් කරනු ලැබේ. මෙය අස්වනු නෙලන කුටිය ලෙස හැඳින්වේ.

මඩුවේ වහලට පොල් අතු සෙවිලි කල යුතු අතර බිත්ති පොළොවේ සිට අඟල් 3 - 4 දක්වා පමණ උසක් දක්වා ගඩොලින් බඳින්න‍. නැතිනම් අතිවලින් අසුරන්න.

වහලය දක්වා ඉතිරි කොටස අවශ්‍ය වේ නම් අරින්න හැකිවන අන්දමට ගෝනි හෝ දැල් ගසා සකස් කරන්න. මෙමගින් මඩුව තුල ඇති වාතයේ තෙතමනය හා ආලෝකය නිසි පරිදි පාලනය කරගත හැකිය. මඩුවේ පහලට අඟල් 2ක් පමණ ඝනකම පිරිසිදු වැලි තට්ටුවකින් පිරවිය යුතුය. දිලීර වර්ධනය වනතෙක් බඳුන් තැන්පත් කරන අඳුරු කාමරයේ සහ අස්වනු නෙලීම සඳහා වූ බඳුන් කාමරයේ බඳුන් ඇසිරිමට තට්ටු ගසා තැබිය යුතුය. මේ සඳහා උණ ලී‍ හෝ වෙනත් ලී පටි භාවිතා කල හැක. 

මෙම රාක්ක තට්ටු කිපයකට සිටින සේ සකස් කර ගත හැක. පහසුවෙන් ඇවිදිමට හැකිවන පරිදි පරතරයක් තැබිය යුතුය. 


බිම්මල් රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම:-

සාර්ථක බිම්මල් ‍වගාවක් සඳහා උසස් තත්වයෙන් බීජ පැකට් තොරාගත යුතුය. 

පහත සඳහන් ලක්ෂණ ඇති බීජ පැකට් ගැනිමෙන් වැලකිය යුතුය.

  • බීජ පැකට් තුල ඒකාකාරි  සුදු පැහැයක් නැතිව තැනින් තැන කළු හෝ කහ හෝ දුඹුරු පාට පුස් සෑදි තිබීම.
  • පැකට්ටුව හරියාකාරව පෑස්සි නොතිබීම.‍
  • පැකට්ටුවේ පුළුන් ඇබය හරියාකාරව සවි වී නොතිබීම.
  • පැකට්ටුවේ සිදුරු තිබීම. 
  • පුළුන් ඇබය තෙමී තිබීම.
  • පැකට්ටුව තුල ජලය එක්රැස් වූ වැනි ස්වභාවයක් තිබීම.

උසස් ගුණාත්මයෙන් යුතු මුතු බෙලි බිම්මල් බීජ පැකට්ටුවක් ඒකාකාරි සුදු පැහැයකින් තිබිය යුතුය. 

සෑම විටම විශ්වාසදායක තැනකින් බීජ පැකට් ලබාගත යුතුය. භාවිතයට ගන්නා තෙක් බීජ පැකට් අඳුරු  සිසිල් ස්ථානයක ගබඩාකර තැබිය යුතුය.

බැරලයක් සකස් කර ගැනීම:-

ලී කුඩු යොදා බිම්මල් වගා කරන විට එම ලී කුඩු හුමාලයෙන් තම්බා ගත යුතය. මේ සඳහා ලීටර් 200 බැරලයක් භාවිතා කල යුතු අතර එහි පියන හොඳින් වැසිය හැකි පරිදි තිබිය යුතුය. හුමාලය පිටවීම සඳහා පියනේ මැද ඇනයකින් සිදුරක් සකස් කරගත යුතුය. පියන හොඳින් නොවැසෙන විට බයිසිකල් ටියුබ් එකක් දමා හුමාලය පිටවීම වලක්වා ගත යුතුය. 

ලී කුඩු පැකට් බැරලය තුල ඇසිරීමට හැකි වන අන්දමට පතුලේ සිට අඟල් 6ක් පමණ උසින් කම්බි දැලක් තැන්පත් කර ගත යුතුය. 

බිම්මල් වගාවට පිදුරු යොදා ගන්නේ නම් පිදුරු තම්බා ගැනීමට මෙම බැරලය භාවිතා කළහැක.

වගා ක්‍රම:- 

මුතු බෙලි බිම්මල් ආකාර කීපයකට වගා කළ හැක. 

  1. පොලිප්‍රොපිලින් බඳුන්වල ලී කුඩු මත වගා කිරීම. 
  2. ලී කුඩු මළු පිලියෙල කිරීම.

මේ සඳහා පහත සඳහන් ද්‍රව්‍ය සපයා ගත යුතුය. අඟල් 7ක් පළල අඟල් 13ක් උස ගේජ් 200 පොලිප්‍රොපිලින් මළු මේ සඳහා කිසි විටකත් පොලිතින් භාවිතා නොකළ යුතුය. 

  • පුළුන් හෝ කපු නූල් කැබලි
  • විෂ්කම්භය අගලක් සහ උස අගල් භාගයක් වූ පී.වී.සී මුදු
  • රබර් බෑන්ඩ්
  • අඟල් 4 × 4 කඩදාසි කැබලි
  • ලී කුඩු - රබර් , අඹ, කොට්ටම්බා, ලුණු මිදෙල්ල, සපු, ඇල්බීසියවැනි සැහැල්ලු දැව වර්ගයක ලී කුඩු

මාධ්‍ය සකස් කර ගැනීම :-

ලීකුඩු කි.ග්‍රෑ.100

සහල් නිවුඩු  කි.ග්‍රෑ.10

කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට් 

හෝ අළු හුණු           කි.ග්‍රෑ. 2

සෝයා හෝ මුං පිටි            කි.ග්‍රෑ. 1

මැග්නීසියම් සල්පේට්         කි.ග්‍රෑ. 200

ක්‍රමය:-

පිරිසිදු සිමෙන්ති පොළවේ හෝ ඉටිරෙද්දක් මත ලීකුඩු දමා එය සමඟ සහල් නිවුඩු, කැලිසියම් කාබනේට්, සහ සෝයා හෝ මුං පිටි මිශ්‍ර කරන්න. මැග්නිසියම් සල්පේට් ජලයේ දියකර ඉහත මිශ්‍රණය සමඟ හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණය මිටක් අත ගෙන මිරිකූ විට ඇඟිලි අතරින් වතුර නොවැස්සෙන මට්ටමක තිබිය යුතුය. මෙලෙස සාදාගත් මිශ්‍රණය අඟල් 13 ගැඹුරු සේ සාදාගත් පොලිප්‍රොපිලින් මළුවල ¾ පිරෙන සේ හොඳින් තදකර පුරවා ගත යුතුය. 

ඉන්පසු පොලිතින් බඳුනේ විවෘත කෙලවර පී.වී.සී මුදුව තුලින් යව‍ා පුළුන් ඇබය ගසන්න. පුළුන් ඇබය කඩදාසි කැබැල්ලකින් වසා රබර් පටියක් දමන්න.

මෙලෙස සාදාගත් බඳුන් බැරලය‍ේ තැන්පත් කර හුමාලයෙන් පැය 2ක් තම්බන්න. බැරලයේ පියනේ ඇති සිදුරෙන් වාෂ්ප පිටවීම ඇරම්භ කල අවස්ථාවේ සිට පැය දෙකක් තම්බන්න. බඳුන් බැරලයේ ඇසිරීමේදි එම බඳුන්වල ජලය නොගැටෙන මට්ටම තෙක් පමණ බැරලයට ජලය දැමිය යුතුය. 

ඉන්පසු මෙම බඳුන් පිරිසිදු මේසයක් මත තබා ඒ අසල ස්ප්‍රීතු ලාම්පුවක් හෝ ඉටිපන්දම් කිහිපයක් හෝ දල්වා ඇබය ගලවා ඒ තුළට බීජ තේ හැන්දක් බැගින් දමා ඇබය ගසා තැබිය යුතුය. බීජ දැමීම කල යුත්තේ හුමාලයෙන් තම්බා දිනක් පමණ ගිය පසුය. බීජ දැමීමෙදි ප්‍රශ්වාස වාතය ඇතුල්විම වැලැක්වීමට රෙදිකඩකින් නාසය වසාගත යුතුය. 

බීජ දැමීමෙන් පසු දිලීර වර්ධනය වීමට අඳුරු කාමරයේ රාක්ක මත අසුරා තැබිය යුතුය. දින 25 - 30 කින් පමණ ලී කුඩු මත දිලිර සුදු පැහැයෙන් යුතුය වර්ධනය වී තිබෙනු දැකිය හැකිය‍. මෙසේ දිලීර වර්ධනය වූ පසු මෙම බඳුන් අඳුරු කාමරයෙන් ඉවත් කර බඳුනේ මාධ්‍යයේ ඉහළ මට්ටම තෙක් පොලිතිනය කපා ඉවත්කර බඳුන විවර කර මඩුවේ අස්වැන්න නෙලීම සඳහා සකස් කර ඇති රාක්කයේ තිරස්ව තැන්පත් කල යුතුය.

මෙම අස්වනු නෙලන බඳුන් තැන්පත් කර ඇති කොටසේ වාතයේ තෙතමනය නිසිපරිදි තබා ගැනීම සඳහා බිම අතුරා ඇති වැලි, වටේ ඇති ගෝනි තෙත් කිරීම සහ පොලිතින් බඳුන් දිනපතා ස්ප්‍රේයරකින් මීදුමක් ආකාරය ජලය දමා තෙත්කිරීම කල යුතුය.

අස්වනු නෙලා ගැනීම :-

අස්වනු නෙලන කාමරයේ තැන්පත් කර දින 7  8 වරක් බැගින් වාර 8 - 10 බිම්මල කැකුළු සමඟ නෙලාගත යුතුය. අස්වනු නෙලීමෙන් පසු පිහි තලයකින් බඳුනේ ඇති මාධ්‍යය මුහුණත සූරා දැමිය යුතුය.


තැටිවල පිදුරු මත බිම්මල් වගාව :-

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • දිලීර නාශක නොයෙදු කුඹුරකින් ලබාගත් වර්ෂාවට හසු වී නැති පිදුරු 
  • ‍අඟල් 12 × 8 ප්‍රමාණයේ බේසම් හෝ තැටි 
  • මෙම භාජන වැසීමට කළු ඉටිරෙදි
  • අඟල් 18 ඉලාස්ටික් කැබලි‍

බැරලයෙන් පමණ ජලය දමා හොඳින් උතුරවා ගෙන අඟල් 3 - 6 ප්‍රමාණයට කපා ගත් පිදුරු එයට දමා පැය භාගයක් පමණ තම්බා ගන්න. ඉන්පසු වතුර බේරීමට සලස්වා පිදුරු නිව්නාට පසු බේසම් හෝ තැටිවල පිරෙන සේ පිදුරු අසුරා තරමක් තද කල යුතුය. අඟල් 12 × 8  තැටියකට වියළි පිදුරු කි.ග්‍රෑ 1 පමණ සැහේ. ඉන් පසු මෙම තැටියේ පිදුරු  මතට බිම්මල් බීජ තේ හැඳි 5ක් පමණ විසුරුවා හැර කළු පොලිතිනයෙන් වසා ඉලස්ටික් පටියෙන් බැඳ තද කරන්න. ඉන් පසු මෙම තැටි තරමක් අඳුරු කාමරයේ තැන්පත් කල යුතුය. දින 21 -25 පසු පිදුරු මත කුඩා බිම්මල් කැකුළු දැකිය හැක. ඉන්පසු ඉටි රෙද්ද ඉවත් කර අස්වනු නෙලීම තබන කාමරයේ තැන්පත් කල යුතුය. පොලිතිනය ඉවත් කර මීදුමක් ආකාරයට තැටි වලට ජලය යෙදිය යුතුය. 

පොලිතිනය ඉවත් කර දින 4කින් පමණ පලමු අස්වැන්න නෙලා ගත හැක. අස්වැන්න නෙලා ගැනීමෙන් පදු පිදුරු තට්ටුවේ මතුපිට ස්ථරය සූරා ඉවත් කිරීම හෝ කුඩා පිහි තලයකින් පිදුරු තට්ටුව මත නොගැඹුරු ඉරි ඇඳීම කල යුතුය. ඉන් පසු පෙර සේම ජලය ඉසින්න. පලමු අස්වැන්න නෙලිමෙන් දින 7 - 10 කට වරක් බැගින් වාර 4 - 6 අස්වැන්න නෙලා ගත හැක.

පොලිතින් බඳුන් වල පිදුරුමත වගා කිරීම:-

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • අඟල් 22 × 12 ප්‍රමාණයේ පොලිතින් බඳුන්
  • දිලීර නාශක නොයෙදු කුඹුරකින් ලබා ගත් වර්ෂාවට හසු නොවු පිදුරු
  • බිම්මල් බීජ
  • කුඩා රබර් පටි

තැටි ක්‍රමයේදි මෙන් පිදුරු සකස් කරගෙන පොලිතින් මළු වලට අඟල් 4ක පමණ පිදුරු තට්ටුවක් දමා මදක් තද කර මැදට නොවැටෙන සේ පිදුරු තට්ටුව්ක දමා ඒ මත නැවත බිම්මල් බීජ දැමිය යුතුය. මෙසේ පිදුරු තට්ටු 3 - 4 දමා ඒ මත බිම්මල් බීම්මල් බීජ දමා අවසාන පිදුරු තට්ටුව පුරාම පිම්මල් බිජ දැමිය යුතුය. ඉන් පසු පොලිතින් බඳුනේ කට වසා රබර් පටියකු දමා දින 21 - 25 ක් අඳුරු කාමරයේ තබා දිලීර හොඳින් වරධනය වීම‍ට ඉඩ හැරිය යුතුය. ඉන්පසු අස්වනු නෙලන ‍කාමරයේ තට්ටු මත තබා පොලිතිනය සම්පූරණයෙන්ම ඉවත් කල යුතුය. පොලිතිනය ඉවත් කර ඒ මතට මීදුමක් ආකාරයට දිනකට වරක් ජලය යෙදිය යුතුය. 

පොලිතිනය ඉවත් කර දින 3 - 5 අතරදි පලමු අස්වැන්නද ඉන් පසුදින 7 - 10 වරක් බැගින් වාර 6 - 8 අස්වනු නෙලිය හැක. අස්වනු නෙලා අවසාන වීමෙන් පසු ඉතිරි වන පිදුරු පොහොරක් ලෙස යෙදිය හැක. 

මැසි හො පාත්ති ක්‍රමය:-

අවශ්‍ය ද්‍රව්‍ය:-

  1. දිලීර නාශක නොයෙදු වගාවකින් ලබාගත් හොඳින් වියලි ඇති සහ වර්ෂාවට හසුනොවූ පිදුරු හෝ කපු නූල් කැබලි 
  2. යාර 3ක් දිග සහ යාර 2 ½ පළල කළු පොලිතිනයක්
  3. ගඩොල් කැට සහ ලැලි කැබැල්ලක්
  4. නිරෝගි බිම්මල් බීජ

පළමුව අඩි 2 ½ දිග පිදුරු මිටි 16 සකස් කරගත යුතුය. මෙම පිදුරු මිටි ස්ථාන 2,3 කින් බැඳිය යුතුය. මෙම පිදුරු මිටි පැය 24 පිරිසිදු ජලයේ ගිල්වාගත යුතුය.

පිදුරු ජලයේ ගිල්වීමට පෙර එම ජලයට ගොම කි.ග්‍රෑ 1 පමණ දැමිය යුතුය. ජලයෙන් බවත් කරගත් පිදුරු මිටි ජලය වෑස්සිම‍ට පැයක් පමණ තැබිය යුතුය. 

පිදුරු මිටි තැන්පත් කිරිමට සිමෙන්ති පොලවක් හෝ වෙනත් පිරිසිදු ස්ථානයක් තොරාගත යුතුය. ඉන්පසු එකිනෙක ස්පරශ වන අන්දමට පිදුරු පිටි 4 තබා දාරයේ සිට අඟල් 2 ක් පමණ ඇතුලතින් බීජ දැමිය යුතුය.

මෙම පිදුරු මිටි 4 මත තවත් පිදුරු මිටි 4ක් තබා බීජ දැමිය යුතුය. මේ ආකාරයට තට්ටු 3ක් තබා බීජ දැමීම කල යුතුය. ඉන්පසු ඒ මත තවත් පිදුරු මිටි 4ක් තබා හොඳින් ආවරනය කර ඒ මත ලෑල්ලක් තබා බර තැබිය යුතුය.

දින 5කට පසු පොලිතිනය මත ඇති බර ඉවත් කල යුතුය. බර ඉවත් කර දින 2කින් පොලිතිනයද ඉවත් කරන්න. පිදුරු මිටි වියලි තිබේ නම් මල් බාල්දියකින් ජලය දමන්න. දිනකට ජලය බොතල් 3ක් පමණ දැමීම ප්‍රමාණවත් වේ. දින 12 - 16 පමණ බිම්මල් පිපීස ආරම්භ වේ.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement