ලීක්ස් වගාව සඳහා කෘෂිකාර්මික උපදෙස් ලබාගන්න

 

ලීක්ස්

ඇලියම් ඇම්පෙලෝප්‍රසම් කල්ටිවාර් පෝරම් -Allium ampeloprasum cv Porrum

කුලය - ඇලියේසි

ලීක්ස් අයත් වන්නේ ලූණු අයත්වන ඇලියේසි කුලයටමය. නමුත් මෙම බෝගයේ ප්‍රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි. අප රටේ විවිධ ආකාරයට ලීක්ස් ආහාරයට ගන්නා නිසා එය හැම විටම වෙළඳපොලෙහි සැලකිය යුතුය මිළකට අලෙවි වේ. කෙසේ වුවද ලූණු වර්ගවල මිළ සෑහෙන ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදි, ලූණු සඳහා ආදේශකයක් ලෙසද ලීක්ස් භාවිතා කිරීම ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පුරුද්දක් වී තිබේ.

දේශගුණික අවශ්‍යතා

ලීක්ස් වගාව සඳහා වඩා සුදුසු වන්නේ අප රටේ උඩරට ප්‍රදේශයයි. උඩරට තෙත් කලාපයට හා අතරමැද කලාපයට අයත් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල පවතින සිසිල් කාලගුණික තත්ව යටතේ මෙම බෝගය හෝඳින් වර්ධනය වේ.

පස

කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වන සාරවත් පස් බෝගය සඳහා වඩාත් සුදුසුය. පසෙහි තිබිය යුතු යෝග්‍යතම පී.එච්.අගය 5.0-6.00 වේ.

නිර්දේශිත ප්‍රභේද

ලාජ් ලෝංග් සමර් - මෙම ප්‍රභේදය පත්‍ර පටුය. දිගුය. සෘජුව පිහිටා ඇත. තද නිල් - කොළ පැහැතිය. කඳ, ලා කොළ - සුදු පැහැතිය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට ග්‍රෑම් 3750

තවාන් පාලනය

බිම පෙරළා ඉතා හොඳින් සියුම්ව පස සකසා ගන්න. හෙක්ටයාරයක් සඳහා මීටර් 3ක් දිග, මීටරයක් පළල හා සෙ. මී.20 පමණ උස පාත්ති 200-225 අවශ්‍ය වේ.

මෙම පාත්ති වලට හොඳින් දිරාපත්වු ගොම පොහොර සැලකිය යුතු ප්‍රමාණයක්ද ත්‍රිත්ව සුපර් පොස්පේට් ස්වල්පයක්ද බැගින් දමා පස සමඟ කළවම් කරන්න.

පසෙහි පී.එච් අගය 5 ට වඩා අඩු වූ විටදි නිර්දේශිත අන්දමට පසට හුණු යොදන්න. උදා : පී.එච් අගය 4.9 වන විටදි අළු හුණු කි.ග්‍රෑ.1200 හෙක්ටයාරයට යෙදිය යුතුය. හුණු යෙදීම කළ යුත්තේ බීජ වැපිරීම සති 03කට පමණ පෙරදිය.

තවාන් දැමිය යුතු කාලය

උඩරට තෙත් කලාපය                - වසර පුරාම

උඩරට අතරමැදි කලාපය           - ඔක්තෝබර් - නොවැම්බර්

සියුම් මතුපිටක් සිටින සේ සකසා ගත් තවාන් පාත්ති වල එකිනෙකට සෙ.මී. 15 පරතරයකින් වූ පේලි දිගේ බීජ දැමීම හෝ වැපිරීම කළ හැකිය. බීජ දැමීමෙන් පසු තුනී පස් තට්ටුවකින් වසන්න.

තවානට අවශ්‍ය වන පරිදි තෙතමනය ලබා දෙන්න. තාවන් පැල වලට උදය පාන්දරින් පත්‍රවල පිණි සේදි යන පරිදි ජලය සපයන්න. තවානේ වල් පැල හා කෘමි රෝග ආදිය පාලනය කර ගැනීම කෙරෙහිද සැළකිලිමත් වන්න. පැල කුඩා අවධියේදි කියත් පණු හානිය වළකා ගැනීම සඳහා කාබොෆයුරාන් ස්වල්පය බැගින් පාත්ති වලට යෙදීය හැකිය.

ලීක්ස් පැල කුඩා කාලයේදි වැඩි අවධානයකින් යුතුව රැක බලාගත යුතුය. සිටුවීමට සුදුසු තත්වයේ ඇති පැන්සලක් පමණ කඳ මහත්වූ පැල තවානෙන් ලබා ගැනීම සඳහා මැස 2 ½ - 3 පමණ කාලයක් ගත වේ.

ක්ෂේත්‍රය පිළියෙල කිරීම

සෙ.මී.30-40 ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩි කර ගන්න. හෙක්ටයාරයකට ටොන් 10-20 පමණ දිරාපත්වූ කාබනික ද්‍රව්‍ය පසට යොදන්න. පසෙහි පී.එච් අගය 5වඩා අඩු නම් නිර්දේශිත පරිදි අවශ්‍ය වන අළු හුණු ප්‍රමාණය පසට යොදන්න. මීටර් 1.2 පමණ පළල් මීටර් 3පමණ දිග පාත්ති සකසා ගන්න. මෙවැනි පාත්ති 2750 පමණ සංඛ්‍යාවක් හෙක්ටයාරයක වගාවක් සඳහා අවශ්‍ය වේ.

පැල සිටුවීම හා පරතරය

තවානෙහි නියම ප්‍රමාණයකට වැඩී ඇති නිරෝගි පැල ප්‍රවේශමෙන් ගලවන්න. එකී පැලවල පත්‍ර හා මුල් කෙළවරින් මදක් කපා දමා සිටුවන්න.

පේලි අතර සෙ.මී.15 සහ පේලියක පැල අතර සෙ.මීත10 වන සේ එක් පැලය බැගින් සිටුවන්න.

පොහොර යෙදීම

වල් පැලෑටි පාලනය

සති 2දි පාත්ති වල වැඩී ඇති වල් පැල පළමු වරට ගලවා දමන්න. ඉන්පසු සෑම පොහොර යෙදීමකටම පෙර ද වල් පැල ඉවත් කරන්න.

පොහොර යොදන සෑම අවස්ථාවකටම පසුව ගස් අසලට පස් එකතු කරන්න. මෙමගින් ලීක්ස් ශාකයේ දණඩ සෘජුව සහ සුදු පැහැතිව තබා ගැනීමට ද ඉඩ ලැබේ.

ජල සම්පාදනය

පැල සිටුවා දින 4 පමණ ගතවන තෙක් දිනපතා වගාවට ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය මත දින 3-4 වරක් බැගින් ජලය සපයන්න.

මිශ්‍ර වගාවක් ලෙස

නුවරඑළීය ප්‍රදේශයේ බොහෝ ගොවීන් විසින් ලීක්ස් වගා කරන්නේ එකම පාත්තියෙහි බීට්, කැරට්, සලාද වැනි බෝග සමග මිශ්‍ර වගාවක් ලෙසය. ලීක්ස් වගාවෙන් අස්වැන්න ලබා ගැනීමට මාස 4 ½ -6 පමණ ගතවන නිසා මෙමගින් වැඩි ආදායමක් මෙන්ම භූමියෙන් වැඩි ඵලදායිතාවයක්ද ලබා ගැනීමට ඔවුනට හැකිවී තිබේ.

කෘමි පාලනය

මෑතකදි නුවරඑළිය ප්‍රදේශයට විශාල තර්ජනයක් වූ “ලිරියොමයිසා හුඩොබ්‍රෙන්සිස්” නමැති පත්‍ර කණින්නාගේ හානිය නිසා ලීක්ස් වගාවන්ට විශාල තර්ජනයක් ඇතිවී තිබේ. ඇලෙන සුළු ද්‍රවයක් තැවරූ කහ පැහැති පොලිතීන් උගුල් යෙදීම, රෝගි ශාක කොටස් විනාශ කිරීම හා බෝග මාරුව මගින්ද නිර්දේශිත කෘමි නාශකයක් යෙදීමෙන්ද මෙම හානිය පාලනය කරගත හැකිය.

රෝග පාලනය

දම් පැහැ පුල්ලි රෝගය

මේරූ පත්‍රවල දම් - දුඹුරු පැහැති පැල්ලම් හට ගනී.

සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම, බෝග මාරුව හා නිර්දේශිත දිලීර නාශකයක් යෙදීමෙන් රෝගය පාලනය කරගත හැකිය.

අස්වනු නෙලීම

සිටුවා මාස 4 ½ දි පමණ අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. ගස්වල කඳෙහි ප්‍රමාණය අනුව ශේණි කර හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලණු පැදුරු වැනි ද්‍රව්‍යයකින් ආවරණය කර මිටි බැඳ වෙළඳපොලට යවන්න.

අස්වැන්න

හෙක්ටයාරයකට මෙ.ටොන් 19-24

 



Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement