පතෝල වගාවට කෘෂි උපදෙස්


පතෝල
ට්‍රයිකොසැන්තස් කුකුමරීනා - Trichosanthes cucumerina
කුලය - කුකුර්බ්ටේසි
ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය එළවළු බෝගයක් වන පතෝල සම්භවය වී ඇත්තේ  නිවර්තන ආසියාවේය. මාතලේ, නුවර, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක වල විශාල වශයෙන් මෙම බෝගය වගාවේ.
දේශගුණික අවශ්‍යතා                                                                                     
 උණුසුම්  දේශගුණික තත්ව ප්‍රියකරන බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ  උසක් දක්වා වූ ප්‍රදේශ වල මෙය සාර්ථකව වගා කළ හැකිය. වියළි කලාපයේ යල් කන්නයේදී ද, තෙත් කලාපයේ වසර පුරාම පාහේ ද පතෝල වගාව කළ හැකිය.
පස
කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලය බැස යන පසක් වගාව සඳහා වඩා සුදුසුය.  පසෙහි තිබිය යුතු පී.එච් අගය 5.5 - 7.5 පමණ වේ.
බිම් සැකැස්ම
ඉඩම හොදින් සී සා කැට පොඩි කර ගන්න නියමිත පරතරයට සෙ.මී.30x30x30 ප්‍රමාණයේ  වලවල් සකසා ගන්න.
නිර්දේශිත ප්‍රභේද
ටී.ඒ.2
මීටරයකට  වඩා දිගු කරල් අළු සුදු පාටය. මේරීමත් සමග කරල් වල තද කොළ පාට ඉරි ඇති වේ.
එම්.අයි.(කෙටි)
අළු සුදු පැහැති කරල මීටර 1/2 පමණ දිගය.
තින්නවේලි
කරලක දිග මීටර් 3/4 පමණ වේ.  මාංසල බවින් වැඩි මෙම කරල් අළු-සුදු පාටය.  මේරීමත් සමග කරලේ සුදු පැහැති ඉරි ඇති වේ.
බිජ අවශ්‍යතාව
හෙක්ටයාරයකට - කි.ග්‍රෑ. 4
පරතරය
මීටර 1.5x1.5
සිටවීම
දිරාපත් වූ  කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස්  මිශ්‍ර කර වල පුරවාගන්න.  බීජ සිටුවීමට දින 2 - 3  පෙර එක් වලකට මූලික පොහොර ලෙස නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය යොදන්න.
සකසාගත් වළෙන් එකිනෙකට තරමක් දුරින් බීජ 3  පමණ  සෙ.මී. 2 - 3 පමණ ගැඹුරින්  සිටුවා හොදින් ජලය සපයන්න. දින 5 -  8 දී බීජ  ප්‍රරෝහණය වේ.
පැල තුනී කිරීම
බීජ පැලවී සති 2  පමණ ගතවූ විට එක් වලක නිරෝගී පැල 2   පමණක් ඉතිරි කර වැඩි පැළ ගලවා දමන්න.
වැල් පුහුණු කිරීම
මීටර්  2 පමණ උස  ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමකට පහතින් වැලෙහි ප්‍රධාන කදෙන්  ඇදගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න.
පොහොර යෙදීම
පහසු සඳහන් අන්දමට රසායනික පොහොර යොදා වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න.

වල් පැළෑටි පාලනය

බෝගයේ මුල් අවස්ථාවේ දී වල් පැල පාලනය පිළිබඳව  සැලකිලිමත් වන්න.  වැල් හොදින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව  වල් පැළෑටි පාලනය එතරම් ගැටලුවක් නොවේ.
ජල සම්පාදනය
බීජ ප්‍රරෝහණය වන තෙක් දිනපතාම  පාහේ ජලය සපයන්න.  න්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න.  වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ව පවතින විට පස් වියළී යාම අඩු කර ගත හැකිය.
කෘමි හා රෝග පාලනය
ඉල් මැස්සා
 කරල් තුල ඉල් මැස්සාගේ කීටයා විසින් සිදු සිදු කරන හානිය නිසා කරල් කුණුවේ. කුඩා අවධියේම පොලිතින් කවර යොදා කරල් ආවරණය කරන්න. දරුණු හානියක් පවතින විට ෆෙන්තියොන්  වැනි නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න. 
මෙයට අමතරව අවුලකපෝරා   කුරුමිණින්,  හබල්පාද මකුනන් හා  එපිලැග්නා  කුරුමිණින්  නිසාද වගාවට හානි ඇතිවිය හැකිය.
මූල ගැටිති වටපනුවන් පාලනය කිරීමට සදහා බෝග මාරුව,  කාබනික පොහොර මැනවින් වගාවටවට  යෙදීම  හැකිය. 
 පතෝල වගාවන් සඳහා  යටිපුස්  රෝගය හා පිටිපුස් රෝගය  දරුණු ලෙස වැළඳිය හැකිය. එවිට නිර්දේශිත දිලීර නාශකයක්  පත්‍රවලට යොදන්න.   මෘදු කුණු වීම නිසා   වැලෙහි   පාදස්ථ කොටස්ට හානි ඇතිවුවහොත් පසෙහි ජලවහනය දියුණු කරන්න. පස බුරුල්කර  වාතනය දියුණු කරන්න.
අස්වනු නෙලීම
සිටුවා දින 60 – 75 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. දින 4 කට වරක් පමණ බැගින් අස්වනු නෙලාගත හැකිය.
අස්වැන්න
උසස් වගා පාලන තත්ව යටතේ හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 20,000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.
අස්වනු පරිහරණය
නෙලාගත් කරල්වලට තුවලවිම වලකා ගැනීම සදහා ලණු පැදුරු හෝ පොල් අතු වලින් ආවරණය කර මිටි බදින්න. හොදින් පරිහරණය කරන ලද කරල් දින 7 – 10 පමණ ගුණාත්මය පහත නොවැටී තබාගත හැකිය.
Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement