දෙළුම් වගාවට කෘෂි උපදෙස්

දෙළුම් - පුනිකා ග්‍රැනටම්

පුනිකේසි නම් ශාක කුලයට අයත්වන දෙළුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානය ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේය. අනාදිමත් කාලයක සිට මෙම බෝගය ආසියාව, යුරෝපය හා අප්‍රිකාවට අයත් වන මධ්‍යධරණී රටවල වගාකරනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදි පමණ මධ්‍යම හා දකුණු  ඉන්දියාව වෙත හඳුන්වා දී ඇති දෙළුම් ගස දැන් ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේත්, බොහෝ අග්නිදිග ආසියානු රටවලත් වගා වේ.

පළතුරක් ලෙස අප රටේ වගා කරනු ලබන දෙළුම් සඳහා විසිතුරු පැලෑටියක් ලෙසද ඉල්ලුමක් පවතියි. ගසෙහි හුරුබුහුටි බව හා දිගු කාලයක් පවතින අලංකාර මල් නිපදවීමට ඇති හැකියාව මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

මෙම පළතුරෙහි ඇති සුවිශේෂ බව නිසා එය සඳහා සැලකිය යුතු දේශිය හා විදේශිය ඉල්ලුමක් පවතියි. එනිසා වගා වපසරිය වැඩි කිරීම හා අස්වැන්නේ ගුණාත්මය දියුණු කිරීමට පියවර ගැනීම වැදගත්ය.

දැනට දෙළුම් වගාව වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පුත්තලම, අනුරාධපුරය, හම්බන්තොට, යාපනය හා මොණරාගල වැනි දිස්ත්‍රික්කයන්හි ය. මෙම වගාව ඉතා පහසුවෙන් සෙසු වියළි කලාපීය ප්‍රදේශයන්හි ද ව්‍යාප්ත කළ හැකිය. එනිසා අක්කර 600 පමණ වන වර්තමාන දෙළුම් වගා වපසරිය වසර 2000 වන විට අක්කර 1100 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.


පැසුන ගෙඩිවල බීජ වටා ඇති මාංසලය එලෙසම ආහාරයට ගත හැකිය. නැතහොත් මාංසලය මිරිකා මිහිරි පළතුරු බීමක් සකසා ගත හැකිය. ජෙලි නිපදවීමට ද මධ්‍යසාර වර්ග සමඟ මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා ග්‍රෙනඩින් නම් සිරප් වර්ගය සාදා ගැනීමට ද දෙළුම් යුෂ භාවිතා වේ.

ඖෂධීය ගුණය

දෙළුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධීය  ගුණ ඇති බව සලකනු ලැබේ. දෙළුම් මාංසලයේ යුෂය අජීර්ණය හා ලාදුරු සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ. කඳේ පොතු, කොල, ලපටි ගෙඩි සහ පැසුනු ගෙඩිවල පොත්තෙහි ටැනින් නම් රසායනිකය අඩංගු නිසා පාචනය හා අභ්‍යන්තර ලේ වහනය වීම් සඳහා කරනු ලබන ප්‍රතිකාරයන් සඳහා භාවිතා වේ. තම්බා ගත් දෙළුම් කොල ඇස් තැවීම සඳහා බහුල වශයෙන් භාවිතා කරනු ලැබේ.

වෙනත් ප්‍රයෝජන

හම් පදම් කිරීම සඳහා ටැනින් අඩංගු දෙළුම් ගසේ පොතු බහුල වශයෙන් භාවිතා වේ. මේරූ ගෙඩියේ පොත්ත සහ මල්, රෙදි වර්ණ ගැන්වීම සඳහා යොදා ගනු ලැබේ. ජපානයේ, කෘමි නාශකයක් නිපදවීම සඳහා ද ගසේ පොතු භාවිතා වේ.

දේශගුණික අවශ්‍යතා

විවිධ දේශගුණික තත්ත්වයන්ට හොඳින් අනුවර්තනය වීමේ හැකියාවක් දෙළුම් ගසට තිබේ. උසස් ගුණාත්මයේ දෙළුම් ලබා ගත හැක්කේ ශීත කාලයක් හා තද උණුසුම් කාලයක් පවතින ප්‍රදේශවලය. මෙම බෝගය ඉතා හොඳින්, දැඩි වියළි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්ත දේ. නමුත් එවැනි කාලගුණයක් පවතින ප්‍රදේශවල හොඳින් ඵල හට ගැනීමට නම් ජල සම්පාදනය කළ යුතුය.

පස

ගුණාංගවල විශාල වෙනස්කම් පවතින පස් වර්ග රාශියක දෙළුම්  වගා කළ හැකිය.  නමුත් උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා මැටි - ලෝම පසක් වඩා සුදුසුය. වෙනත් බොහෝ පළතුරු බෝග වලට වඩා පසෙහි පවතින ක්ෂාරිය තත්වයට දෙළුම් ඔරොත්තු දේ. එසේම ආම්ලික පස්වල වුවද එය වගා කළ හැකිය.

ප්‍රභේද

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ සඳහා වඩා සුදුසු දෙළුම් ප්‍රභේද නිශ්චිතව තවම හඳුනා ගෙන නොමැත. නමුත් ගුණාත්මයෙන් උසස් ගෙඩි හටගන්නා ගස් වලින් සිටුවීම සඳහා පැල ලබා ගැනීම වැදගත්ය. දැනටමත් දේශිය මෙන්ම විදේශයන්ගෙන් ලබාගත් ප්‍රභේද රාශියක් පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුවෙමින් පවතී. මෙමගින් අප රටට වඩා ගැලපෙන ප්‍රභේද හඳුනා ගැනීමට ඉදිරියේදි හැකි වනු ඇත.

රෝපණ දුව්‍ය සකසා ගැනීම

සිටුවී සඳහා යොදා ගන්නා දෙළුම් පැල ප්‍රධාන ආකාර තුනකට නිපදවා ගත හැකිය.

බීජ පැල

තෝරා ගත් මේරූ ගස් වලින් ලබාගන්නා බීජ තවාන් කළ විට ඉතා පහසුවෙන් ප්‍රරෝහණය වේ. මෙවැනි පැල මාස 9 – 12 පමණ ගත වූ පසුව සිටුවීමට සුදුසු තත්වයට පත් වේ. දෙළුම් ශාක පර පරාගනය මෙන්ම ස්වර පරාගනය ද සිදුවේ. එනිසා, මේ අන්දමට බීජ මගින් පැල ලබා ගන්නා පැල වල මව් ශාකයට වඩා වෙනස් ලක්ෂණ තිබිය හැකිය. බීජ පැල සිටුවීම එතරම් සතුටුදායක ක්‍රමයක් ලෙස නොසලකන්නේ එනිසාය.

මුල් ඇද්දා වූ දඬු කැබලි

මේ සඳහා උසස් ලක්ෂණ සහිත මව් ශාකයකින්, සෙන්ටිමීටරයක් පමණ මහත මේරූ දඬු කැබලි තෝරා ගන්න. එම දඬුු කැබලි සෙ.මී. 20 – 30 පමණ දිගක් වන සේ කපාගන්න.

මෙම දඬු කැබලිවල දිගින් 2/3 පමණ පසට යට වන සේ සකස් කර ගත් පාත්ති වල සිටුවන්න. සමහර අවස්ථාවලදී දඬු කැබැල්ල සම්පූර්ණයෙන්ම වුවද පසට යට කර සිටුවනු ලැබේ. මෙම දඬු කැබලි ප්‍රරෝහණය වීමෙන් ඇතිවන පැල වසරකදී පමණ ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට පත් වේ. විශේෂ ප්‍රචාරක ව්‍යුහයක් (ප්‍රොපගේටරයක්) තුල මෙම අතු කැබලි මුල් අද්දවා ගැනීමට කටයුතු කිරීම මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

වායව අතු බැඳීම

මෙයට අමතරව වායව අතු බැඳීම මගින්ද සතුටුදායකව පැල නිපදවාගත හැකිය. නමුත් පැල විශාල සංඛ්‍යාවක් නිපදවා ගැනීම සඳහා මෙය එතරම් ප්‍රායෝගික ක්‍රමයක් නොවීමට ඉඩ ඇත.

පරතරය - මීටර් 3 × 3

බිම් සැකසීම

ඉහත පරතරයට අනුව සෙ.මී. 60 ×  60 ×  60 ප්‍රමාණයේ වලවල කපන්න. මතුපිට පස් හා හොඳින් දිරාපත්වූ ගොම පොහොර ආදිය යොදා මෙම වලවල් පුරවන්න.

පැල සිටුවීම           

වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ සකස් කරගත් වලවල් වල පැල සිටුවන්න. පැලය අවට පස ඉක්මනින් වියළී යාම වලකා ගැනීම සඳහා වියළි තණකොළ වැනි ද්‍රව්‍යයයකින් වසුන් කරන්න.

පොහොර යෙදීම

වර්ධනයේ මුල් අවස්ථාවන් හි දී හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය ගස වටා යොදා පසට කලවම් කරන්න.

පැල සිටුවා වසරක් පමණ ගත වූ පසු ව පැල වටා රවුමක ආකාරයට පස ඉවත් කරන්න. ගසේ වර්ධනය අනුව මෙලෙස පස් ඉවත් කළයුතු ප්‍රදේශයේ විශාලත්වය මීටර් 1 – 1 ½ පමණ විය හැකිය. පස් ඉවත් කළ ප්‍රදේශයට හොඳින් දිරාපත් වූ ගොම පොහොර හෝ කාබනික ද්‍රව්‍ය යොදා නැවත පස් වලින් වසන්න. වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ මෙය කිරීම වඩා සුදුසුය.

පසේ සරු බව අඩුනම් සහ ගසේ වර්ධනය දුර්වල නම් ගොම පොහොර සමඟ යූරියා පොහොර ග්‍රෑම් 100 – 150  පමණ ද සෑම ගසකටම යොදන්න.

ජල සම්පාදනය

වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වියළි කාල වලදී ගසට ජලය සපයන්න. මේ අන්දමට සපයනු ලබන ජලය තරමක් ලවණ සහිත වුවද එමගින් ගසට හානියක් සිදු නොවේ.

වල් පැලෑටි පාලනය

ගස වටා ඇති ප්‍රදේශය වල් පැල වලින් තොරව තබාගන්න. වියළි තෘණ වැනි ද්‍රව්‍යයක් භාවිතා කර මෙම ප්‍රදේශය වසුන් කරන්න. මෙමගින් වල් පැලෑටි පාලනය වේ. පැල පේලි අතර විසිකැත්තක් වැනි දෙයක් මගින් වල් පැලෑටි පාලනය කළ හැකිය.

ගස් පුහුණු කිරීම

ආරම්භයේ සිටම දෙළුම් ගස් ක්‍රමාණුකූලව පුහුණු කිරීම මගින් ගසට මනා පෙනුමක් මෙන්ම උසස් ගුණාත්මයේ අස්වැන්නක් ද ලබාගත හැකි වේ.

ගස් පුහුණු කිරීම තනි කඳක් ලෙස පවතින සේ කළ හැකිය. නමුත් බොහෝ විට කරනු ලබන්නේ ගසේ පහළ සිට ප්‍රධාන අතු 3 – 4 පමණ සංඛ්‍යාවක් වර්ධනය වීමට ඉඩ සැලසීමයි. මෙම සැකිල්ල ඇතිකර ගත් පසුව ප්‍රධාන අතුවල පහළ ප්‍රදේශයෙන් හෝ මුල් වලින් හටගන්නා දිය රිකිලි වැනි අතු ඉවත්කරන්න. විශේෂයෙන් මෙය වැදගත් වන්නේ බෝගයේ මුල් වසර කීපය තුලදීය.

මෙයට අමතරව, අනවශ්‍ය ලෙස දිගට වැඩෙන අතු කෙටි කිරීම ද, පොලව සමඟ ස්පර්ශ වන සහ, ඉතා පහළින් හටගන්නා අතු ඉවත් කිරීම ද ගසේ ඇති අනවශ්‍ය අතු ඉවත්කිරීම ද වරින් වර කළ යුතුය. 

කෘමි හානි පාලනය

දෙළුම් සමනලයා - විරකෝලා අයිසොක්‍රේටස්

අළු පැහැයට හුරු දම් පැහැති මෙම සමනලයා මල් කැකුළු හා ලපටි  ගෙඩි වල පහළ කෙළවර ප්‍රදේශයේ බිත්තර දමයි. බිත්තර වලින් කීටයා ගෙඩිය තුළට ඇතුල් වී එයට හානි පමුණුවයි.

මෙවැනි ගෙඩි ප්‍රයෝජනයට ගත නොහැකිය.

මෙම කෘමි හානිය පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීම අපහසුය. එයට හේතු වී ඇත්තේ ඕනෑම අවස්ථාවක වර්ධනයේ විවිධ අවස්ථාවනිහි ඇති ගෙඩි දෙළුම් ගස්වල දක්නට ලැබීමයි.

ළපටි අවස්ථාවේදි කඩදාසි උර වැනි දෙයකින් ගෙඩි ආවරණය කිරීමෙන් මෙම හානිය පාලනය කරගත හැකිය.

මෙයට අමතරව කඳ විදින පනුවන් විසින් හානි පැමිණවීම  නිසා කෙළවර සිට අතු මැරීයාමට ඉඩ තිබේ. සුදු මැස්සන් පිටි මකුණන් හා කොරපොතු කෘමීන් මගින් ද වගාවට සුළු හානි ඇතිවිය හැකිය. වියළි කාල වලදී වේයන් විසින් ගසේ කඳට හානි පැමිණවිය හැකිය.  මෙය පාලනය කිරීම සඳහා කළු තෙල් වැනි ද්‍රව්‍යයකින් කඳේ පහළ කොටස ආලේප කිරීම සුදුසුය.

රෝග පාලනය

අස්වනු නෙලීම

දෙළුම් ගසේ වසර පුරාම මල් හටගනී. නමුත් වර්ෂා කාලයේදි හටගන්නා මල් සංඛ්‍යාව වැඩිය. එනිසා වියළි කාලයකදී වුවද ගස වටා හොඳින් පොහොර යොදා ජලය සැපයිය හැකිනම් මල් වැඩි සංඛ්‍යාවක් හටගන්වා ගත හැකිය. මල් හට ගෙන මාස 6 – 7 පසුව අස්වනු නෙලා ගැනීමට පුළුවන.

අස්වනු නෙලීමට සුදුසු අවස්ථාවට පත් වී ඇති බව තීරණය කිරීම සඳහා ඇඟිලි වලින් ගෙඩි වලට තට්ටු කරන්න. එවිට ඇති වන විශේෂිත ශබ්දය මගින් පැසුන ගෙඩි පහසුවෙන් හඳුනා ගත හැකිය. අස්වනු නෙලා ගැනීමෙන් පසුව තවදුරටත් ගෙඩි ඉදීම සිදු නොවේ.  එනිසා නෙලීමට වඩා සුදුසු අවස්ථාවේදි ඇති ගෙඩි පමණක් තෝරා ගැනීම වැදගත්ය.

ගෙඩි නෙලාගත යුත්තේ පිහියකින් නටුව කපා ගැනිමෙනි. වෙළද පොලට ඉදිරිිපත් කිරීමට පෙර ගෙඩියට ආසන්නයේ නටුව කපා ඉවත් කළ යුතුය.

සමහර රටවල දෙළුම් ගෙඩි මිලදී ගන්නේ මේස සැරසිලි සඳහා යොදා ගැනීමටයි. එනිසා ගෙඩියේ බාහිර පෙනුම උසස් මට්ටමක පවත්වා ගැනීම වැදගත්ය. සමහර විට තද හිරු එළිය නිසා ගෙඩියේ පිට පොත්ත රළුවීම හෝ දුර්වර්ණ වීම හෝ සිදුවිය හැකිය.

අස්වැන්න

වසරකදී එක් ගසකින් ගෙඩි 70 – 200 පමණ සංඛ්‍යාවක් නෙලාගත හැකිය. ගසේ වයස හා පාලන ක්‍රම වල යෝග්‍යතාවය මත ලබා ගත හැකි ගෙඩි සංඛ්‍යාව තීරණය වේ.

වෙළඳ පොල වෙත සැකසීම

ගෙඩි වල විශාලත්වය අනුව ශ්‍රේණි කරන්න. ඉන්පසු කඩදාසි හෝ පිදුරු වැනි දෙයකින් ගෙඩි ආවරණය කර පෙට්ටිවල අසුරන්න.

ගබඩා කිරීම

දෙළුම් නිසි ගබඩා තත්ත්වයන් යටතේ දිගු කලක් ගබඩා කර තබාගත හැකි පළතුරකි. සෙන්ට් ග්‍රේට් අංශක 0 – 5 උෂ්ණත්වයක් සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය 80 – 85 % යටතේ, ගෙඩි වල බාහිර පෙනුමට හානි නොවන පරිදි මාස 7 පමණ කාලයක් දෙළුම් ගෙඩි සතුටුදායකව ගබඩා කර තබාගත හැකිය. ගබඩා කාලය තුලදී ගෙඩියේ යුෂ ප්‍රමාණය හා සුවඳ වැඩි වේ.

අපනයන වෙළඳ පොල

ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ස්පාඤ්ඤය වැනි රටවල් මගින් එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවල් වෙත දෙළුම් අපනයනය කරනු ලැබේ. නිසි තත්ත්වයන් යටතේ දිගු කලක් හොඳින් ගබඩා කර තබාගත හැකි පළතුරක් නිසා ඉතා පහසුවෙන් නැව් මගින් ප්‍රවාහනය කළ හැකිය. පෙට්ටි වල අසුරා ඇති දෙළුම් විවිධ බර ප්‍රමාණයන්ගෙන් යුත් ඇසුරුම් ලෙස අපනයනය කරනු ලැබේ. එනිසා උසස් වර්ග වල දෙළුම් ගෙඩි අපනයනට සඳහා අප රටට ද හැකියාවක් තිබේ.


Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement