කුරක්කන් වගාව
කුරක්කන් බෝගය ලංකාවේ
වියළි හා අතරමැදි කලාපවල වර්ෂාපෝෂීත තත්ව යටතේ වගා කරනු ලබන ඉතා උසස් පෝෂණ ගණයෙන්
යුතු පාරම්පරික ධාන්‍ය බෝගයකි. නමුත් මෑත කාලයේ අලුතින් කැලෑ එළි පෙහෙලි කිරීම
තහනම් කිරීමත් සමඟ කුරක්කන් වගාවට සුදුසු සාරවත් උස් බිම් හිඟවීම නිසා 1980 දී
හෙක්ටයාර 21439ක් වූ කුරක්කන් වගා වපසරිය වර්තමානයේදී හෙක්ටයාර 5000-6000 ක් අතර
ප්‍රමාණයක් දක්වා අඩු වී ඇත. කුරක්කන්වල ඇති සෞඛ්‍යමය අගය නිසාත් පාන් පිටි මිල
ඉහල යාම නිසාත් දේශීය ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ලංකාවේ වත්මන් කුරක්කන්
ජාතික අවශ්‍යතාවය මෙ.ටොන් 2000ක් පමණ දේශිය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආනයනය කරනු
ලැබේ. මෙම ආනයනය කරනු ලබන ප්‍රමාණය 2010 වන විට සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා
වැඩසටහනක් දේශිය ආහාර බෝග නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩසටහන යටතේ සකස් කර ඇත.
දේශගුණික අවශ්‍යතා
මහ කන්නයේ ඔක්තෝබර් සිට
ජනවාරි මැද දක්වා මි.ලි.800-1000 ක හොඳින් පැතිරුණු වර්ෂාපතනයක් තිබීම කුරක්කන්
වගාවේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වේ. යල කන්නයේදි අතිරේක ජල
සම්පාදනය යටතේද කුඹුරු ඉඩම්වලද වගා කල හැක.
පස
කාබනික ද්‍රව්‍ය 2 – 5 %
අතර ප්‍රමාණයක් අඩංගු ජලය හොඳින් බැස යන වැලි ලෝම පසක් වඩාත් යෝග්‍ය වේ. පසේ
භාෂ්මිකතාව දරා ගැනීමේ වැඩි හැකියාවක් බෝගය සතුව ඇත.
කුඹුරු ඉඩම්වල වගා
කරන්නේ නම් ජලය බැස යන ඉඩමක් විය යතුය. හදිසියේ ඇති වන වර්ෂාවල දී ජලය රඳා
තිබුණහොත් දිලීර රෝග ඇති වී මුල් කුණු වීම සිදු වේ. මනා ලෙස කාණු යොදා ජලවහනය
දියුණු කරන ලද පාංශු කැටීනාවේ මැද පිහිටි කුඹුරු ඉඩම්වලද කුරක්කන් වගාව සාර්ථකව
සිදුකළ හැකිය. කුඹුරු පසේද කාබනික ද්‍රව්‍ය 2-5% අතර ප්‍රමාණයක් තිබීම වඩාත් යෝග්‍ය
වේ. කාබනික ද්‍රව්‍ය අඩු පසට ගොම පොහොර හෝ කොළ පොහොර යෙදීම මඟින් කාබනික ද්‍රව්‍ය
ප්‍රතිශතය දියුණු කල හැකිය.
සුදුසු බිම් තේරීම
වඩාත් සෙවන සහිත වගාවට
නුසුදුසු අතර, එවැනි ස්ථානවල ඇති ගස්වල අතු ඉවත් කළ යුතුවේ. තවද කලාදුරු, ඇටවරා
වැනි වල් වර්ග තදින් බෝ වී ඇති ඉඩම්ද කිවුල් ඉඩම්ද ජලවහනය දුර්වල ඉඩම් ද වගාව සඳහා
නුසුදුසුය.
බිම සකස් කිරීම
උස් බිම් හෝ හේන් ඉඩම්වල
වගා කරන විට කැලෑ එළි පෙහෙලි කර ගිනි තබා පුලුස්සා ගන්න. වල් පැළෑටි සහිත භූමියක්
නම් කල් ඇතිව වල් නාශකයක් යොදා වල් පැල මැරුණු පසුව රොටවේටරය හෝ කොකු නඟුල යොදා
මතුපිට පස බුරුල් කර ගන්න. මෙමගින් පස මතුපිට ඇති එන්ද්‍රිය කොටස් පසට යට කර ගැනීමෙන්
පස සරු වීමත් පසේ තෙතමනය ආරක්ෂා වීමත් සිදු වේ. ගොම පොහොර හෝ කොම්පෝස්ට් පසට එකතු
කරන්නේ නම් බිම් සකස් කරන අවස්ථාවේ පසට එකතු කර ගැනීම කළ යුතු වේ.
යල කන්නයේදි කුඹුරු ඉඩම්
වගාව සඳහා යොදා ගන්නේ නම් ප්‍රථමයෙන් රවුන්ඩ් අප් වැනි වල් නාශකයක් යොදා ඇටවරා ,
කළාදුරු වැනි වල් වර්ග විනාශ කර ගන්න. ඉන් පසුව රොටවේටරය හෝ කොකු නගුල යොදා මතුපිට
පස හොඳින් සීසා ගන්න.
ඉන් පසු ලියදිවල ජලය බැස
යන පැත්තට අඟල් 8 ක් පමණ පළල හා අඟල් 6ක් පමණ ගැඹුරු කාණු අඩි 8-10 පරතරයට යොදන්න.
ලියද්ද වටේ ජලය බැස යන නොගැඹුරු කාණුවක් දැමිය යුතුය.
වගාව සඳහා නිර්දේශිත ප්‍රභේද
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
විසින් මේ වන විට කුරක්කන් ප්‍රභේද 03 ක් වගාව සඳහා නිර්දේශ කර ඇත. මෙම ප්‍රභේද
වලින් රවි සහ රාවණා ප්‍රභේද යල කන්නයේ ජල සම්පාදනය යටතේ වගා කිරීමට වඩා සුදුසු වේ.
ඕෂධ ප්‍රභේදය යල සහ මහ කන්න දෙකෙහිම වගා කළ හැකිය.
බීජ අවශ්‍යතාවය
වර්ෂා පෝෂිත උස් බිම් වල
සාමාන්‍යයෙන් බීජ වැපිරීම සිදු කරණු ලබන අතර හෙක්ටයාරයක් සඳහා බීජ කි.ග්‍රෑ.8ක්
පමණ අවශ්‍ය වේ. බීජ පේලියට වැපිරීම ආර්ථිකව ඵලදායී ක්‍රමයක් නොවන බැවින් නිර්දේශ
කල නොහැක. එබැවින් වඩාත් ඵලදායී සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් බීජ තවාන් කර පේලියට
පැල සිටුවිම ඉතා සුදුසුය. පේලියට පැළ සිටුවීමේදි වැපිරීමට වඩා අස්වැන්න 3 ගුණයකින්
වැඩි වේ. මේ සඳහා හෙක්ටයාරයකට බීජ කි.ග්‍රෑ.3ක් පමණ අවශ්‍ය වේ.
වගා කිරීම සඳහා සුදුසු
කාලය
මහ කන්නයේ වර්ෂාපෝෂීත
උස් බිම්වල වගා කරන්නේ නම් ඔක්තෝබර් මස ලැබෙන මුල් වර්ෂාවත් සමඟ බීජ වපුරන්න. පැල
සිටුවන්නේ නම් සැප්තැම්බර් මස මුල් සතියේ පමණ තාවන් පාත්තිවල බීජ වපුරා ඔක්තෝබර්
මාසයේ 2 හෝ 3 වන සතියේ මහ කන්නයේ වර්ෂාව ආරම්භවීමත් සමඟ පැල පේලියට සිටුවන්න. යල කන්නයේ
කුඹුරු ඉඩම්වල වගා කරන්නේ නම් මාර්තු මස මුල් සතියේ බීජ තවාන් කර අප්‍රේල් මස මුල්
සතියේ පමණ පැල සිටුවීම වඩාත් සුදුසුය.
බීජ තවාන් දැමීම
හොඳින් පැලවන බීජ නම්
අක්කරයක පැළ සිටුවීම සඳහා කුරක්කන් බීජ කිලෝ 1-1 ½ ප්‍රමාණවත් වේ.
කුරක්කන් බීජ තවාන් කිරීම සඳහා මීටර් 1ක් පළල මීටර් 5ක් පමණ දිග පාත්ති 10ක්
අක්කරය වගා කිරීමට අවශ්‍ය පැල ලබා ගැනීමට ප්‍රමාණවත් වේ. තවාන් පාත්ති සකස් කර
හොඳින් කැට පොඩි කර පාත්ති හොඳින් මට්ටම් කර ගත යුතු වේ. ඉන්පසු හොඳින් දිරූ ගොම
පොහොර කිලෝ 5-6 ක් පමණ හොඳින් කුඩු කර පාත්තියට මිශ්‍ර කරන්න. ඉන් පසු තවාන්
පාත්ති වලට පිදුරු සහ දහයියා දමා පුලුස්සා ගන්න. පිලිස්සීමෙන් පසු අළු හොඳින් පසට
මිශ්‍ර කර පාත්ති හොඳින් මට්ටම් කර ගන්න. බීජ වැපිරීමට පෙර කිලො 1 ට කැප්ටාන් ග්‍රෑ.
2ක් පමන හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු කුරක්කන් බීජ ග්‍රෑම් 120ක් පමණ එක පාත්තියකට
වැටෙන සේ සමාකාරව පැතිරෙන ලෙස බීජ වපුරන්න. පසුව බීජ වැසෙන ලෙස පස් ස්වල්පයක්
පාත්තියට ඉසින්න. ඉන් පසුව පාත්ති පිදුරුවලින් වසා මල් බාල්දියකින් ජලය යොදන්න.
බීජ වපුරා දින 3-4කට පසුව පිදුරු ඉවත්කරන්න. ඉන් පසුව දින 2-3කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්
වේ. තාවනට දින 21ක් ගත වූ පසුව එම පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වේ.
බීජ/ පැල සිටුවීම හා
පරතරය
ක්ෂේත්‍රයේ පැල සිටුවීමට
පෙර ලියදි හොඳින් කැට පොඩි කර කාණු දමා සකස් කළ යුතු වේ. සිටුවීමට පෙර ලියදි වලට
ජලය හරවා තෙත් කිරීමෙන් පැල සිටුවීමට ඉතා පහසු වන අතර, පස බුරුල් වීමක් ද සිදු වේ.
තවාන හොඳින් තෙත් කර පැල ගලවාගත යුතුය. එවිට පැල ගැලවීම ඉතා පහසු වේ. සිටුවීමට පෙර
පැලවල කොළ ඉහළ සිට අඟල් 3ක් පමණ පහළින් කපා දමන්න. තවද පැල වල කෙඳි මුල් අඟල්
2-3ක් දිගට වැඩි ඇති බැවින් පැළ පසේ යට කිරීම අපහසුය. ඒම නිසා මෙම කෙඳි මුල් අඟල් ½ ක් ඉතිරි කර කපා ඉවත්
කළ යුතුය.
පෙළට බීජ සහ පැල සිටුවන
විට පේළි අතර සෙ.මී.30ක පරතරයක්ද පැළ 2ක් අතර, සෙ.මී.7.5-10 පරතරයක්ද තිබීම සුදුසු
වේ. එක් පැලයකින් රිකිළි 5-6 පමණ හට ගන්නා අතර එක ස්ථානයක එක පැලයක් බැගින් අඟල් ½ පමණ ගැඹුරට සිටුවිය
යුතුය.
පොහොර යෙදීම
මූලිකව ලියදිවලට සීසාන
අවස්ථාවේ ගොම පොහොර ලබාගත හැකි ප්‍රමාණයක් යෙදීම වඩාත් සුදුසුය. සාමාන්‍යයෙන්
අක්කරයක බිම් ප්‍රමාණයකට ගොම පොහොර ටොන් 2-5 වත් යෙදීමට හැකි නම් සුදුසුය. මීට
අමතරව පැල සිටුවන අවස්ථාවේ තෙතමනය අඩු වීමට පෙර මූලිකව රසායන පොහොර පහත සඳහන් ප්‍රමාණය
යොදන්න.
යූරියා අක්කරයට කි.ග්‍රෑ
26ක්, සුපර් පොස්පේට් අක්කරයකට කි.ග්‍රෑ.33ක්
හොඳින් මිශ්‍ර කර පැළ සිටුවන අවස්ථාවේ ඒකාකාරිව ඉසින්න. සති 5-6 ක් ගත වූ
පසුව යූරියා අක්කරයකට කි.ග්‍රෑ. 52ක් පමණ මතුපිට ඉසින්න. පොහොර යෙදීමට පෙර ජලය
හරවා පස තෙත් කරන්න.
ජල සම්පාදනය
ජල සම්පාදනය කිරීම පසේ
තත්වය අනුව තීරණය කළ යුතු වේ. සාමාන්‍ය කළු පැහැති කරමැටි පස් ඇති කුඹුරු වල නම්
දින 12-15 පමණ කාලයක් ජල මුර 2ක් අතර තැබිය හැකිය. හොඳින් ජලය බැස යන ගොඩ ලියදිවලට
නම් දින 7-10 පමණ කාලාන්තරයකින් ජල සම්පාදනය කළ යුතුයි. යල කන්නයේ වගා කාලය තුළ
සාමාන්‍යයෙන් ජල මුර 3-4කින් වගාව නඩත්තු කල හැකිය. මාර්තු සහ අප්‍රේල් මාසවල
ලැබෙන යල වර්ෂාවද ප්‍රයෝජනයට ගතහොත් ජල සැපයුම අඩුකර ගත හැකිය.
වල් මර්ධනය
කුරක්කන් වගාවේ වල්
මර්ධනය ඉතාම වැදගත් වේ. මුල් අවධියේ වල් මර්ධනය නොකළහොත් පඳුරු දැමීම අඩු වන අතර
අම්වැන්නද අඩු වේ. එබැවින් සිටුවා සති 3-4 අතර කාලයේදි හොඳින් පේලි අතර වල් පැලෑටි
උදළුගෑම කළයුතුය. ඒය ප්‍රමාද වුවහොත් පඳුරු දැමීම නිසා පේළි අතර උදළු ගෑම අපහසු
වේ. හොඳින් මූලිකව බිම් සකස් කර ඇති නම් එක් වරක් වල් මර්දනය කිරීම ප්‍රමාණවත් වේ.
පේලි අතර උදළුගෑමේදි පේලිවලට පස් යෙදීමද සිදුවන අතර පැල අවට පස් බුරුල් වීමද සිදු
වේ. මෙය පඳුරු දැමීමට වඩාත් ඉවහල් වේ.
කෘමි හා රෝග පාලනය
මහ කන්නයේ කුරක්කන් වගා
කිරීමේදි ගොවීන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ බෝගය කොළ පාලු රෝගයට පත්‍රී
වීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2007 වර්ෂයේදි නිර්දේශ කරන ලද ඕෂධ ප්‍රභේදය
කොල පාලු රෝගයට මධ්‍යස්ථව ඔරොත්තු දෙන ප්‍රභේදයකි. රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පරතරයට පැල සිටුවීමට සිදුකල යුතුය. කෘමි
හානියක් වශයෙන් වඩාත් ව්‍යාප්ත වී ඇත්තේ පුරුක් පණු හානියයි. මෙය සාමාන්‍යයෙන් 5%-
10% දක්වා වගාවක දක්නට ලැබුනොත් කෘමිනාශක යෙදිය යුතුය. පුරුක් පණුවන්ගෙන් හානි වූ
ගස් කපා විනාශ කර දැමීම. සිටුවා දින 25-35 දි හා දින 45-55 දි තයෝඩිකාබ් (ලාවින්),
ටෙබුෆෙනොසයිඩ් (මිමික්), එකෝපෙන්ප්‍රොක්ස් (රිමෝන්), යන කෘමිනාශකවලින් එක් වර්ගයක්
දෙවරක් යෙදීම මඟින් පුරුක් පණු හානිය පාලනය කර ගත හැකිය.
අස්වනු නෙලීම
වගාවේ පළමුවෙන්ම දුඹරු
පැහැයට පත් වන්නේ මව් ගසේ කරලය. මේ අවස්ථාවේ සිට දින 10ක පමණ කාලයක් තුළ කරල්
85%ක් පමණ රන්වන් පාට වේ. මේ අවස්ථාවේ අස්වනු නෙලිය හැකි වේ. අස්වනු නෙලා අවසාන වූ
පසු කරල් දින 2-3 ක් පමණ අව්වේ හොඳින් වියළා ට්‍රැක්ටරයක් මගින් පාගා ඇට වෙන් කර
ගත හැකිය. ඉන්පසු හොඳින් පොලා පිරිසිදු කර ගැනීමට පුලුවන. වගාව සුළු ප්‍රමාණයක්
නම් ගෘහස්ථ මට්ටමින් ගෝනි පඩංගු වල දමා මෝල්ගස් වලින් කෙටීමෙන් ද බීජ වෙන් කර ගත
හැකිය. බීජ වෙන් කිරීමේදි ගෝනි පඩංගු හෝ ටාපොලින් (කැන්වස් කාපට්) භාවිතා කරන්නේ
නම් ගල් වැලි වලින් තොර පිරිසිදු බීජ තබා ගැනීමට හැකිවේ. මහඉලුප්පල්ලම, ගොවිපල
යාන්ත්‍රික පර්යේෂන මධ්‍යස්ථානය මගින් මේ වන විට කුරක්කන් බීජ වෙන් කර ගැනීමේ
යන්ත්‍රයක් ගොවීන් වෙත හඳුන්වා දී ඇත. මෙමගින් වඩා කාර්යක්ෂමව හා පිරිසිදුව කුරක්කන්
බීජ වෙන් කර ගත හැකිය.
විමසීම් : අධ්‍යක්ෂ,
ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම
දුරකථනය : 025-2249177 / 025-2249132
0 comments:
Post a Comment